new updates

Press Conference – 2019/07/17

| නීති විරෝධී “බැටික්ලෝ කැම්පස්” ආයතනය ජාතික සමඟියට ද බාධාවක්.. |

මඩකලපුව ප්‍රදේශයේ තවදුරටත් ඉදිකෙරෙමින් පවතින බැටික්ලෝ කැම්පස් පෞද්ගලික අධ්‍යාපන ආයතනය, නීති විරෝධී මෙන්ම ජාතික සමඟියට හා සංහිදියාවට බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා පවසයි.

සහෝදරයා මේ බව පවසා සිටියේ බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කෙරෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

බැටික්ලෝ කැම්පස් ආයතනය 2012 වසරේ සිට අද පවතින තත්වය දක්වා ක්‍රමාණුකූලව වර්ධනය වී ඇති බවත් එය ආරම්භ කිරීමට අවසර ලබාගැනීමේදී ඉදිරිපත් කර ඇති අරමුණුවලට පටහැනිව මේ වනවිට ක්‍රියාකර ඇති බවත් නලින්ද ජයතිස්ස සහෝදරයා පැවසීය.

අද (17) මාධ්‍ය සාකච්ඡාව බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති අතර ඒ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා ද එක්වී සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස සහෝදරයා…

“අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිහිටුවා තිබෙනවා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් තමයි එය නියාමනය වන්නේ. 1985දී එම පනතට ගෙන ආ සංශෝධනයක් සමඟ රාජ්‍ය නොවන උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතන ගොඩනැගීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දුන්නා. එම නිසා දැන් ආයතනයකට හෝ පුද්ගලයෙකුට පෞද්ගලික උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් එයට නීතිමය ක‍්‍රමවේදයක් තිබෙනවා. ඒ සඳහා නීති අවසර ලබාගත යුතු ආයතන කිහිපයක් තිබෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාන කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩලය සහ උපාධි ප‍්‍රදානය කරන ක්ෂේත‍්‍රයට අදාළ ආයතනවලින් අවසරය ලබාගත යුතු වෙනවා. උදාහරණ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයත් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනය ආදියයි.

දැන් කතාබහට ලක්වෙලා තිබෙන “බැටිකලෝ කැම්පස්” ආයතනය ඉදිකිරීමේ ක්‍රියාවලිය 2012 වසර තෙක් දිවෙනවා. එම ක්‍රියාවලියට දැන් වසර 07ක පමණ කාලයක් ගතවෙලා තිබෙනවා. 2013 ජුනි මස 11වැනිදා “යුනිවර්සිටි කොලේජ් බැටිකොලෝ” ආයතනය ආරම්භ කිරීමට තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හීරා පදනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එය අත්සන් කරනු ලැබුවේ එවකට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා හීරා පදනමේ හිස්බුල්ලා මන්ත්‍රීවරයායි. 2014 දෙසැම්බර් 10 දින ශ්‍රී ලංකා හීරා පදනම විසින් එම ආයතනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ලියාපදිංචිය ලබාගන්නවා. 2016 මැයි 19වැනිදා එම ආයතනය ආරම්භ කිරීමට බී.ඕ.අයි. සමඟ ගිවිසුම් අත්සන් කරනවා.

මෙම “බැටිකොලෝ කැම්පස්” ආයතනය සඳහා ඉඩම බැහැර කර ගැනීම සිදුවන්නේ 2012දීයි. නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට නොමිලයේ වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීමේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමේ පදනමින් ඉඩමක් ලබාගැනීමට මහවැලි අධිකාරියෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව 2013 ජූලි 24වැනිදා මඩකලපුව උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 35ක ඉඩමක් වසර 35කට බදු ලෙස හීරා පදනමට ලබාගත්තා. අක්කරයකට රුපියල් 14,340ක් බදු වශයෙන් අයකර ගන්නා අතර හීරා පදනම එම ඉඩම සඳහා වසරකට ගෙවිය යුතු මුදල් වන්නේ රුපියල් 491,200ක මුදලක්. ඒ වගේම මෙම ආයතනය ඉදිරිකිරීම සහ පවත්වාගෙන යාම සඳහා මුදල් ලබාගැනීම ගැටලුසහගත තත්වයක්. 2016 මාර්තු මාසයේ සිට 2017 ජුනි මස දක්වා වසරක පමණ කාලයක් තුළ සෞදි අරාබියේ අලි ෆාලී නම් පදනමක් මගින් අවස්ථා 07කදී හීරා පදනමට රුපියල් කෝටි 360ක් ලබාදෙනවා. ඒ වගේම මෙම ආයතනය සඳහා ආචාර්යවරුන් ලෙස සෞදි අරාබියේ මහාචාර්යවරු ගෙන්වා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයන් අවසර ඉල්ලා තිබෙනවා.

මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය නීති විරෝධී ආයතනයක්. ඒ වගේම ජාතික සමගියට දැඩි බලපෑමක් එල්ල කරන ආයතනයක්. ඉඩම මිල දී ගැනීමේදී වංචා කොට තිබෙනවා. මෙම ඉඩම ලබාගැනීමේදී හීරා පදනම හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදෙන පොදු කටයුත්තක් සඳහා ඉදිකරන ආයතනයක් කියලා. නමුත් ඔවුන් ඉදිකරන්නේ මුදලට පාඨමාලා විකුණන ආයනතයක්. ඒ වගේම මහවැලි අධිකාරිය මෙම ඉඩම වෙන්කොට තිබුණේ සිද්ධපුර නගරය නම් ව්‍යාපෘතියක් සඳහායි. එම ව්‍යාපෘතිය නතර කොට තමයි මේ ඉඩම හීරා පදනමට ලබා දෙන්නේ. ඒ වගේම එවකට මහවැලි අධිකාරිය අයත් අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ඉඩම බැහැර කිරීමේ ක‍්‍රමවේදය ගැටලුසහගතයි. අද වනවිට ලබාදුන් අක්කර 35ට අමතරව අක්කර 08ක පමණ නීති විරෝධී ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර තවත් අක්කර 15ක් නීතිවිරෝධී ලෙස හෙළි පෙහෙළි කර තිබෙනවා. ඒ වගේම මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය ගොඩනැගිලි සඳහා අදාළ ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගෙන නැහැ.

බැටිකොලෝ කැම්පස් ආයනය ඉදිකළ ශ්‍රී ලංකා හීරා පදනම ලියාපදිංචියේ ගැටලු තිබෙනවා. 1980 අංක 31 දරන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ පනතට අනුව ශ්‍රී ලංකා හීරා පදනම හෝ හීරා පදනම ලියාපදිංචි කර නැහැ. ඒ වගේම මෙම ආයනයට මුදල් ලැබීම පිළිබඳව බරපතළ ප‍්‍රශ්න තිබෙනවා. සෞදි අරාබියෙන් මෙම මුදල ලැබුණේ ණයක්ද, ප‍්‍රදානයක්ද කියලා පැහැදිලි නැහැ. මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හිස්බුල්ලා මන්ත්‍රීවරයා මෙම මුදල ණයක් බව පිළිගත්තා. නමුත් එය ණය මුදලක් නම් බී.ඕ.අයි. ආයතනයේ අනුමැතියත් තිබිය යුතුයි. ඒ වගේම එම මුදලට අදාළ ණය ගිවිසුමක් නැහැ. ණයක් නම් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා ණය ලබාගැනීමේදී අනුගමනය කරන විදේශ ණය ගැනුම් ගිණුමක් ආරම්භ කොට නැහැ. මහ බැංකුවේ අවසරයක් නැහැ. ඒ නිසා මෙම ගනුදෙනුව පිළිබඳ හිස්බුල්ලාගේ ප‍්‍රකාශය පරස්පරයි.

එම නිසා මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය 2012 සිට ආයතනය ආරම්භ කිරීම සඳහා අවසර ලබාගැනීම්, බී.ඕ.අයි. ලියාපදිංචිය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් අවසර ලබාගැනීම, මහවැලි අධිකාරියෙන් ඉඩම ලබාගැනීම, ණය මුදල සඳහා ගිණුම් විවෘත කිරීම ගැටලුසහගත වන අතරම හිස්බුල්ලා මන්ත්‍රීවරයා එවකට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු හෝ රාජ්‍ය ඇමතිවරයෙකුව හිඳිමින් ආණ්ඩුව සමඟ ගිවිසුම් අත්සන් කිරීම ළබැඳියාවන් අතර ගැටලුවක්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම ආයතනයට මුදල් ලැබුණු ආකාරය, පාඨමාලාවන් සඳහා සෞදි අරාබියෙන් ආචාර්යවරුන් ගෙන්වාගැනීම දෙස බලද්දී මෙම ආයතනය රටේ ජාතික සමගියට බාධාවක් එල්ල කරන මූලධර්මවාදී විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේ ඉඩ තිබෙනවා. එම ආයතනයේ පාඨමාලා ලෙස ෂරියා නීතිය පිළිබඳ පාඨමාලා, ඉස්ලාම් බැංකුකරණය පිළිබඳ පාඨමාලා අන්තර්ගතවීම ඊට හේතුවයි. ඒ වගේම මෙවැනි ආයතනවලට අවසර ලබාගත් පසුව ආයතනයේ ක්‍රියාවලිය ප‍්‍රශ්න කිරීමට අපේ රටේ නීති ප‍්‍රමාණවත් නැහැ. එනිසා මේ පදනමින් දෙමළ ඩයස්පෝරාවටත් අවශ්‍ය නම් ලංකාව තුළ දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමේ පදනමින් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් ස්ථාපිත කළ හැකියි.

මෙම ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභාවන්වලදී ප‍්‍රශ්න කෙරුණා. ඒ වගේම කියන්න ඕනෑ, මෙම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ අප්‍රේල් 21 ප‍්‍රහාරයටත් කලින් සිටයි. මේ වසරේ මුල් කාලයේ සිටම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය කාරක සභාවේදී, කෝප් කමිටුවේදී විමර්ශනය කොට තිබෙනවා. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම බැටිකොලෝ කැම්පස් ආයතනයට අයත් සියලු වත්කම් රජයට පවරා ගන්නා ලෙසත් මෙම ආයතනය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාමටත් නිර්දේශ ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම මෙය ජාතික විශ්විද්‍යාලයක් බවට පත්කොට සහජීවනයේ විද්‍යා භූමියක් බවට පත්කළ යුතු බවට සියලු දෙනාගේ එකඟත්වයෙන් යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා.

එසේ තිබියදී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම ආයතනය සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කොට තිබෙනවා. ඒ සඳහා මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, මනෝ ගනේෂන් සහ ලකී ජයවර්ධන සාමාජිකයින් ලෙස පත්කොට තිබෙනව. මෙම කැබිනට් අනුකාරක සභාවේ සංයුතිය අනුව බොහෝ දුරට විසඳුම විය හැක්කේ මෙම ආයතනය හිස්බුල්ලාටම පවරා දී පෞද්ගලික උපාධි ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමයි. ඒ වගේම මෙම අනු කමිටුවේ ඉන්නේ මෙම ගැටලුවේ චූදිතයෝ. බැටිකොලෝ කැම්පස් ආයතනයට මුදල් ලැබුණු ආකාරය විමර්ශනය කළ යුතු මහ බැංකුවට වගකිව යුත්තේ මුදල් ඇමති මංගල සමරවීරයි. ඒ වගේම මෙහි අනෙකුත් පාර්ශ්වකරුවෙක් වන බී.ඕ.අයි. ආයතනය අයත්ව තිබෙන්නේ මලික් සමරවික‍්‍රමගේ අමාත්‍යාංශයටයි. එනිසා මංගල සමරවීරත් මලික් සමරවික‍්‍රමත් රනිල්ගේ වුවමනාව ඉටුකරන බවට කිසිදු සැකයක් නැහැ. රනිල්, මලික්, මංගල තුන් බෑ ජටිලයන් ඩොලර් මිලියන 100ක් එනවා කිවුවොත් ඕනෑම දෙයක් කරන්න බලාගෙන ඉන්න පුද්ගලයන් තිදෙනෙක්. අපේ රට කුණු ගොඩක් කරන්න පිඹුරුපත් සකසන්නේ මේ ජටිලයන් තුන් දෙනා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න ව්‍යාපෘතිය හදන්නේ මේ ජටිලයන් තුන් දෙනා. චීනයට හම්බන්තොට වරාය විකිණීමේ ව්‍යාපෘතියේ හිටියේ මේ ජටිලයන් තුන් දෙනා. ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමේ ව්‍යාපෘතියේ ඉන්නේ මේ ජටිලයන් තුන් දෙනා. ආයෝජකයන් අපේ රටට එන්නේ නැතිවෙයි කියලා බොරු භීතියක් හදලා බැටිකොලෝ කැම්පස් ආයතනය හිස්බුල්ලාටම පවරා දීමට තමයි මොවුන්ගේ උත්සාහය වෙලා තියෙන්නේ.

එනිසා මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබෙනවා. ඒ වගේම එම ආයතනය රජයට පවරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති නීතිමය තත්වය පිළිබඳව අපි උපදෙස් ලබාගනිමින් ඉන්නවා. ඒ වගේම එම ආයතනය රජයට පවරා ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් කරන අරගල අපේ රටේ විශ්විවද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ව්‍යාපාරය සමග එක්වී දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ආයතනය ඉදිකිරීම සඳහා හිස්බුල්ලා විසින් හේතුව ලෙස සඳහන් කළ නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලයේ අධ්‍යාපන පාඨමාලා ලබාදෙනවා යන්න සැබෑ වුවමනාව නම් මෙය රජයට පවරා දී ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලෙස හිස්බුල්ලා මන්ත්‍රීවරයාට අපි කියා සිටිනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“දැන් අපේ රටේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් නැතිකොට රටේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳව මැදිහත් වන ආයතනත් කර්මණ්‍ය වෙනවා. අද ඇතිවෙලා තිබෙන්නේ එම තත්වයයි. බඩු මිල, සේවා මිල ඉහළට ගිය තත්වයක් ඇතුළේ පිටි මිල වැඩිකරනවා. අපේ රටේ ආණ්ඩු ජනතාව ගැන හිතලා තීරණ ගන්නවා නම් මෙවැනි තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරයක් නෙවෙයි, ආණ්ඩුව පිටි මිල වැඩි කරලා ජනතාවට කියයි, පිටි කන එක සෞඛ්‍යයට අහිතකරයි කියලා.

අපේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය බවට පත්වෙලා තිබෙන්නේ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම මගින් පෞද්ගලික උපාධි ආයතන අවස්ථා ඇතිකිරීමට අවස්ථාව ලබාදීමයි. බොහෝ දෙනා එම නීතිමය තත්වය තමයි පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉදිකිරීම සඳහා යොදා ගන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි එම පනත සංශෝධනය කරන විටත් එයට විරුද්ධ වුණා. ඒ වගේම පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉදිකිරීමට උත්සාහ කරන අවස්ථාවලදී විරුද්ධ වන්නේ මෙවැනි ගැටලුකාරී තත්වයන් උද්ගත වන නිසයි. එම නිසා එම සිදුර වසා දැමිය යුතුයි. ඒ වගේම මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් කතාබහ තීව‍්‍ර වෙලා තිබෙන්නේ මෙය පෞද්ගලික උපාධි ආයතනයක් නිසාම නොව එම ආයතනයේ පාඨමාලා ලෙස ෂරියා නීතිය පිළිබඳ පාඨමාලාවත් ඉස්ලාම් බැංකුකරණය පිළිබඳ පාඨමාලාත් අන්තර්ගත වෙලා තිබෙන නිසයි.”