new updates

ආසියා – පැසිෆික් කලාපීය තරුණ සමුළුව

2023 May

ආසියා – පැසිෆික් කලාපීය තරුණ සමුළුව

( WFDY ASIA- PACIFIC REGIONAL MEETING May 15 – 17 in NEPAL )

ලොව විශාලතම තරුණ හා ශිෂ්‍ය සංවිධානය වන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) ආසියා- පැසිෆික් කලාපීය සමුළුව මැයි 15 සිට මැයි 17 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ආසන්න චන්ද්‍රගිරිහිල්ස් හොටෙල් හිදී පැවැත්වුණි

නේපාලයේ ජාතික තරුණ සම්මේලනයේ (NYFN) සත්කාරකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම සමුළුව සදහා ආසියා – පැසිෆික් කලාපයේ වාමාංශික තරුණ සංවිධාන හා ශිෂ්‍ය සංවිධාන 13 ක සාමාජික සාමාජිකාවන් සම්බන්ධ වූහ.

විශේෂයෙන්ම මෙම සමුළුවේදී කලාපයේ සාමාජික සංවිධාන අයත් රටවල් වල වර්ථමාන දේශපාලන තත්ත්වයන් පිළිබදවත් ,කලාපීය වශයෙන් මතුවී ඇති දේශපාලන ,ආර්ථික , සාමාජීය අභියෝග පිළිබඳවත් සාකච්ඡා වුණි. අධිරාජ්‍යවාදී මැදිහත්වීම් , නව- ලිබරල් ආර්ථිකයේ විනාශකාරී තත්වයන් , අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලීකකරණය කිරීම හා කප්පාදුව , තරුණ විරැකියාව ,පරිසර විනාශය වැනි ක්ෂේත්‍ර ඔස්සේ සංවාද කොට එම අභියෝගයන්ට මුහුණ දීම සදහා දේශපාලන යෝජනාවලියක් සකස් කොට සම්මත කර ගැනීමටත් හැකිවුණි. එමෙන්ම ඉදිරි කාලය සදහා ඒ ඒ රටවල් වලත් ,කලාපීය වශයෙනුත් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරගැනීම ද එහිදී සිදුවිය .

අපේ රටට අදාළව කාලීන යෝජනා කීපයක් සම්මත කර ගැනීමට අප ඇතුළු පිරිස හැකි වුණි.

ඒ අතර පසුගිය වසර තුළ මතුවූ තරුණ තරුණියන් ප්‍රමුඛ පොදු ජනතා අරගලය හා නැගීටීමට සහයෝගය පළ කිරීමේ යෝජනාවත්

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් අරගලය හා පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් යටපත් කිරීමේ හා මර්ධනය කිරීමේ අරමුණෙන් ගෙන එන ප්‍රති- ත්‍රස්ත පනතට එරෙහි වාමාංශික හා ප්‍රගතිශීලී සංව්ධාන ,ශ්‍රී ලාංකීය ජනතාව ගෙන යන සටනට සහයෝගය පළකිරීමේ යෝජනාවත්

එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා අපේ රටට සිදුවූ විනශයටත්, එවැනි නැව් සමාගම් විසින් දකුණු ආසියා මුහුදු කලාපයට සිදුකරන විනාශයන්ට එරෙහිව නීති බලවත් කිරීම ,කලාපයක් වශයෙන් අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම වැනි ක්‍රියාවලියක් වෙනුවෙන් සටන් කිරීමේ යෝජනාවත්

අධිරාජ්‍යවාදී බලවත් රටවල්, එවායින් ගොඩනැගුණු සන්ධාන තුළින්,ලෝක භූ දේශපාලනයේ වැදගත් ස්ථානයක් වන කලාපයේ රටවල් වලට , ඊට අයත් මුහුදු කලාපය අධිරාජ්‍යවාදී යුද්ධ සදහා යොදා ගැනිමේ උවමනාට එරෙහිවත් යෝජනා සම්මත කර ගැණුනි.

මෙම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංවිධාන හතරක් සම්බන්ධ වූ අතර ,සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම්වරයා ලෙස අංජන අමරසිංහ සහෝදරයා ද සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් එහි ජාතික කමිටු සාමජික සජිත් ශ්‍රීමාල් සහෝදරයාත් සම්බන්ධ විය.